පශු සම්පත් ධීවර හා පෝශන පීඨයේ කතෝලික සහෝදර කැළ, පීඨයේ සියලුම සහෝදර සහෝදරියන් සමග එක්වී සංවිධානය කරනු ලැබූ නත්තල් උත්සවය පසුගිය උදුවප් මාසයේ දහතුන්වන දින පස්වරු 7.00සිට පීඨ ශ්‍රවනාගාරයේදි පවත්වනු ලැබීය. මෙම උත්සවය වර්ණවත් කිරීම සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් කුරුණෑගල පදවි භාණ්ඩාගාරික පියතුමන් වන ගරු සාගර ප්‍රියශාන්ත පියතුමන් එක් විය. පීඨයේ ආචාර්‍ය මණ්ඩළය නියෝජනය කරමින්, දේශක උපමාලි පීරිස් මහත්මියද මෙම උත්සවයේ ආරාධනය පිළිගෙන අප හා එක් වන ලදි. සමිදුන් තුළ යැදුමෙන් මෙන්ම හරබර අදහස් සමුදායකින් නත්තලේ අරුත සහභාගී වූවන් අතර පියතුමන් බෙදාගන්නා ලදි. පීඨයේ පළමු, දෙවන, තෙවන සහ සිව්වන වසර සිසුන් සියල්ලම සහභාගී වෙමින්, දක්ශ වාද්‍ය වෘන්දයකින් සමන්විත කැරොල් ගායනා, නර්ථන අංග මෙන්ම නාට්‍ය අංග වලින්ද මෙම උත්සව අවස්තාව වර්ණවත් විය. එමෙන්ම නත්තල් සැරසිලි, ගවලෙන සහ නත්තල් ගස සමගින් අලංකාර වූ මෙම නත්තල් උත්සවය පීඨයේ සියලු සහෝදර සහෝදරයින් ආගම් භේදයකින් තොරව සහභාගී වී රසවිදින ලදි. උත්සවය අවසාන භාගයේදී උත්සවය හා එකතු වූ නත්තල් සීයා සහභාගී වූ සියලු දෙනා අතර කුඩා ත්‍යාගයක්ද බෙදා දීමට අමතක නොකලේ නත්තල් සීය යනු නත්තලට අමතක නොකල හැකි චරිතයක් නිසාවෙනි. දිවයිනේ නන් දෙසින් පැමිණි පීඨයේ සියලුම සහෝදර සහෝදරියන් සමග නත්තලේ අසිරිය බෙදාගනු වස් පීඨ ආගමික අනු කමිටුව සංවිධානය කරන ලද මෙම නත්තල් උත්සවය සියලු හදවත් නත්තලේ අසිරියෙන් ඒකාලෝකමත් කරන ලදි.

Leave a Comment