ශ්‍රී ලංකා වයඹ විශ්විද්‍යාලීය පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාමය පිංකම වර්ෂ 2019ක් වූ පොසොන් මස 14 වන සිකුරාදා දින පස්වරු 6.30ට පීඨ ශිෂ්‍ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පළමු වසර (2017/18) සහෝදරත්වය විසින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
     මෙම “ඒහි පස්සිකෝ” ධර්ම දේශනය සංවිධානය වන්නේ හුදෙක් ප්‍රධාන ලෙසම බෞද්ධාගමික වතාවත් ඉටුකිරීම උදෙසාම නොවේ. එහි අභිමතාර්ථ බොහොමයක් විය. ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, සහෝදර විද්‍යාර්ථයින් මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සෙත් පැතීමටත්, නව ගොඩනැගිලි පරිශ්‍රය ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් විවෘත කිරීමටත් ,මෙන්ම මැයි 21 කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් කායිකවත් මානසිකවත් විපතට පත් මුලු මහත් ශ්‍රි ලාංකික ප්‍රජාවට සෙත් පැතීමත් ‘ඒහි පස්සිකෝ’ හි අරමුණු විය.
එදින මුළු විශ්වවිද්‍යාලීය පරිශ්‍රයම ආලෝකයෙන් ඇලලී ගොසිණි. පහන් කූඩු 200කට අධික ප්‍රමාණයකින් හැඩ වූ සරසවි ප්‍රධාන පිවිසුම විදුලි බුබුළුවලින් ආලෝකවත් විය. පීඨ ගොඩනැගිල්ල ඉදිරිපස නෙලුම් හැඩැති පහන් කූඩුවලින් හා පහන් එළියෙන් හැඩ විණි. තවද පීඨ ගොඩනැගිල්ල වටා පහන් වැටි දැල්විණි. පියගැටපෙළ මැටි පහන්, ගොක් කොළ හා කෙසෙල්බඩ වලින් නිර්මාණය වූ සැරසිලිවලින් යුතු විය. මානෙල් මලින් ද, සුදෝ සුදු ඉද්ද මල් මාලා වලින්ද අලංකාර වූ ධර්ම මණ්ඩපය සෑම දෙනා තුළම ඇති කරවූයේ නිරාමිස සතුටක් වූවා නොඅනුමානය.
මේ සියල්ල මධ්‍යයේ අප මහා සංඝ රත්නය මුතුකුඩ පාවඩ මතින් විශ්වවිද්‍යාල පරිශ්‍රයට වැඩම වූයේ උන් වහන්සේලා වඩින මග දෙපස සුදුවතින් සැරසී රැස්ව සිටි සහෝදර විද්‍යාර්ථයන්ගේ සාධුකාර මධ්‍යයේ වෙමු. මුලු විශ්වවිද්‍යාල පරිශ්‍රයම එකම සොයුරු දමින් බැදී මෙම අවස්ථාව සාර්ථක කරනු වස් එක්ව සිටීම ඉමහත් සතුටු නිමේෂයක් විය.සුලගේ ලෙල දෙමින් මග දෙපස වූ 200ක් පමණ වෙසක් කූඩු දින ගණනක් අප කල ප්‍රයත්නය ට නිසි අගයක් එක් කල බව නිසැකය. එමෙන්ම මග දෙපස වූ බෞද්ධ ධජ පතාක ද මෙම පිංකම සැම දනන් හට මනාව සන්නිවේදනය කිරීමට සමත් විය.
අධ්‍යන කාර්ය මණ්ඩලය පෙරටුකොට ගත් පළමු වසර, දෙවන වසර, තෙවන වසර, සිවු වන වසර විද්‍යාර්ථීන් සාධූ සිතින් ධර්ම දේශනාව ශ්‍රවණයට එක්ව සිටීම මෙම පිංකම සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වයට පත් කරවීමට සමත් විය. එය හුදෙක් බුද්ධ පූජාවක් ම නොව අප සහෝදර සහෝදරියන්ගේ අධිෂ්ඨානය, කැපවීම, උනන්දුව මෙන්ම සොයුරුදම ද මනාව ඔප්පු කරවූවාද නොඅනුමානය.
ධර්ම දේශනාව අවසන් වූ පසු පැමිණ සිටි සියලු දෙනාට සුළුවෙන් හෝ සංග්‍රහ කිරීමටද අප අමතක නොකළෙමු. ඒ සඳහා වෙහෙස මහන්සි වූ අප සහෝදර විද්‍යාර්ථීන්ට අපගේ ප්‍රණාමය හිමි විය යුතුමය. එමෙන්ම එදින ධර්ම දේශනය සාර්ථක කිරීමට උර දුන් අප පීඨයේ අධ්‍යන හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාට ද අපගේ ස්තූතිය පුද කරමු.

Leave a Comment