ඉරි තැලී වියලූණු පොළව මත පිපෙන්නට වෙර දරන පුංචි මල් කැකුළු වලට දිය දෝතක් වන්නට කෙදිනක හෝ හැකි වී ඇත්නම්, නැවුම් පිවිතුරු සුවඳ විහිදා හෙට දින පූදින ඒ මල් කැකුළු දෙස බලා වරක් හෝ සතුටක් විදින්නට හැකි වී ඇත්නම්, ඔබට සැබෑ ජීවිතයක හිමිකරුවෙකු ලෙස කිරැළු පැලදිය හැකිය.

එවන් වූ වියලී ගිය මහපොළව බඳූ වූ ජීවන තොටුපොළ  තුල පිපෙන්නට වෙර දරන  පුංචි මල් කැකුළු වලට  දිය දෝතක් වන්නට පසුගියදා අපේ සරසවි සොයුරු සොයුරියන්ට වරම් උදාවූයේ අහිංසක මුහුණු මත දහසක් ප්‍රාර්ථනාවේ පහන් දල්වමිනි. “ඉගනීම කටු අත්තකි, එහි ඵලය මල් ඉත්තකි” යන තේමාෙවි සැබෑ අරුතේ හිමිකරුවන් වන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ලෙස මීට වසර කිහිපයකට පෙර බිහි වූ ස්වර්ණමය සංකල්පනාවක් වර්තමානයේ  “නැණ දියවර” ලෙසින් ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරනුයේ, වයඹ විශ්වවිද්‍යාලයේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ සහෝදරත්වයේ කැපවීම හා අප්‍රහිත ධෛර්ය නිසා බව කියනුයේ ඉමහත් ආඩම්බරයෙනි. මෙහිදී තෝරාගත් අඩු පහසුකම් සහිත පාසල් වල සාමාන්‍ය පෙල විභාගය සඳහා සූදානම් වන දරු දැරියන්ගේ අධ්‍යාපනික කුසලතා හා දැනුම ඉහල නංවනු පිණිස, ගණිතය විෂය සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම සිදූකරනු ලබනුයේ ඔවුන්ගේ ඉගැනුම් ප්‍රවර්ධනය සඳහා ද නව මංපෙත විවර කර දෙමිනි.

පසුගිය සැප්තැම්බර් මස 05 දින 6 වන වරටත් ඉතා සාර්ථක ලෙස දියත් කරනු ලැබූ මෙම වැඩසටහන නාලවලාන, බංඩිරිප්පුව හා වෙලපල්ල යන දූෂ්කර පාසල් 03 කේන්ද්‍ර කොට ගෙන අප සොයුරු සොයුරියන් විසින් ක්‍රියාත්මක කරන ලද්දේ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ සහෝදරත්වය මනාව පිළිබිඹු කරමිනි.

අධ්‍යාපනයට පමණක් සිමා නොවූ මෙම වැඩසටහන තුල එම දරු දැරියන් සමඟ සුහද කතාබහක යෙදෙමින් සිය අත්දැකීම් ඔුවුන් සමඟ හුවමාරු කරගත් අපේ සොයුරු සොයුරියන් ඔවුන්ට අවශ්‍ය නව චින්තනයක දොරගුළු විවර කර සැබෑ ලෝකයට පියවර තබන්නට අවශ්‍ය මාර්ගෝපදේශ ද ලබා දී ඇත්තේ අනාගතයේ රටකට අවැසි වැඩදායී පුරවැසියන් බිහිවීමේ සැබෑ අවශ්‍යතාවය දන්නා පිරිසක් ලෙසිනි.

වත්මන් සමාජය තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිළිබඳ ඇති නොයෙකුත් මතවාද හා ප්‍රතිරූපයන් අතර මෙවන් වූ මහඟු සංකල්පනාවන් ක්‍රියාවට නැංවීම තුලින් සමාජ සත්කාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳ අපට ඇත්තේ නිහතමානී සතුටක් වන අතර ඒ සතුටේ හිමිකරුවන් වයඹ විශ්වවිද්‍යාලීය මවුන්ගේ සුජාත දරු දැරියන් බව පවසනුයේ ඉමහත් සාඩම්බරයෙනි.

Leave a Comment